HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පොතකින් කවියක් - අතීතයේ විසූ විස්මිත විනෝදකාමී යෝධයෙක්

මා ඉතා කුඩා කාලයේ මා උපන් සියණෑ කෝරලයේ ද ‘සව්දම් ජෙමා’ නමින් යෝධයකු ජීවත්ව සිටි බව මගේ ආච්චිලාගෙන් පමණක් නොව නැන්දලාගෙන් ද දැන ගැනීමට ලැබුණි. ඔහු දුටු බව හා ඔහුගේ ක්‍රියාකාරම් ගැන ඔවුන් මහත් උජාරුවෙන් කතා කරනවා මට අද වගේ මතක ය. ඒ කාලේ වසරක් පාසා පැවති පෙරහරේ ඉදිරියෙන්ම ගියේ මේ සව්දම් ජෙමා ය. පෙරහර බලන්න රොක්වන පිරිස් දෙපසට කරන්නට පාර හරහට සිටින සේ ඔහු විසින් ම එවේලේ උදුරාගෙන ආ යෝධ පුළුන් ගසක් කර තියාගෙන ගිය බව මගේ ලොකු නැන්දා දැක තිබේ. ඇය කී විස්තරයට අනුව අපේ පළාතේ සාමාන්‍ය ගැමියන් සව්දම් ජෙමාට කිසිවිටෙකත් කන්න කතා කරන්නේ නැත. ඒ ඔවුන් ආගන්තුක සත්කාරයට අකමැති නිසා නොව ඔහුට කන්න දී පිරිමහන්නට බැරි නිසාය. 


තිහාරියේ පීටර් පෙරේරා කවියා

පෙරහර දා උදේට සිරිත් පරිදි සව්දම් ජෙමාට කන්න ලැබෙන්නේ වැලිපිල්ලෑවේ ජයකොඩි වලව්වෙනි. වලව්වේ ළමාතැනී ජෙමා වෙනුවෙන් ම සුදු ආප්ප සංග්‍රහයක් සූදානම් කරන්නීය. සුදු ආප්ප ගණනින් 100කි. ඒ කාලේ ආප්ප දැන් මෙන් පුංචි තාච්චිවල උයන ඒවා ‍නොවේ. විශාල තාච්චියක උඩින් ලොකු මුට්ටියකින් තැනූ ගිනි කබලක් යොදා යටින් ගින්දර දමා උයන ඒවා ය. ප්‍රමාණයෙන් යෝධයන්ටම සරිලන ඒවා ය. සාමාන්‍යයෙන් වැඩුණු අයකුට ඒ ආප්ප දෙකකට වඩා කන්නට බැරි ය. සව්දම් ජෙමා ඒ සුදු ආප්ප සීයෙන් එකක් ඉතිරි කර අනිත් සියල්ල කා දමා ඇත. ඒ බලා සිටි ළමාතැනී අවසානයේ දී මෙසේ අසා ඇත. “ඇයි ජෙමෝ ඔය එකක් ඉතුරු කළේ ඒකත් කාපන්කෝ.”ඒකට ජෙමා දීලා තියෙන්නෙ අපූරු උත්තරයක්. මෙන්න මෙහෙම: “ළමාතැනීට කියන්ඩ මං ඒක ඉතුරු කළේ මගේ නම්බුව බේරා ගන්න. දැන් ඔබ තුමියට කියන්න බෑනේ එකක් ඉතුරු නොකර ඔක්කොම කෑවා කියලා” 

මේ සව්දම් ජෙමා ගැන කියැවෙන අපූරු කවි පන්තියක් කොළඹ යුගයේ ප්‍රකටව සිටි කවියකු වූ දිවංගත තිහාරියේ පීටර් පෙරේරා විසින් නිර්මාණය කර තිබුණි. මේ කව්පෙළ අපට හමුවුයේ අප කුඩා කල පෙළ පොතක් ලෙස භාවිත කළ ‘නවීන පද්‍ය රචනා’ නම් සාහිත්‍ය ග්‍රන්ථයෙනි. ඒ කව්පෙළ මට අද වගේ මතකය. ඒ මෙසේ ය: 

සව්දම් ජෙමා 

කස්තුරි සුමුගුවද සය දරු සුවඳ            කැට 
මා දිනු තිහාරිය සියණෑ තරුණ             රට    
සව්‍දම් ජෙමා යන සිවු දෙය හැරුණු      විට 
මුළු ලෝකයම අමතක කළ හැකිය       මට 

හෝතඹුවකුගෙ වාගෙයි නිතරම        දෑහේ 
පොල් ලෙලි ගහන්නට පන්කාදුයි    නාහේ 
සව්දම් රසය නිතරම මුවගින්            වෑහේ 
මොහු නම් හිඟන ලොව රජකමට ම සෑහේ 

දෙමාලයට මඩකලපුවෙ සරම              අඳී 
ඉත්තෑකූරු මෙන් කොණේඩය උඩට    විදී
පුටුවක නමුත් පා ඉහළට රැගෙන         ඉඳී 
අත මිට ඇතැයි දත් හැම කෙනකුට ම   වඳී 

අලිබත් ගොඩක් ඇටයක් බල්ලකුට නොදී 
ලුණු බින්දුවක්, හොඳි කඳුලක් නැතුව  බුදී 
සතයේ සුරුට්ටුව උගුරට දෙකට          අදී 
එක බත් පතක් ඔහුගේ කටකටත්        මදී 
 
මල්ලක පහේ ඇත පොට සැඟවුණ  මඩිය 
අත්පා කිතුල් පොලු කෙටි පමණට  දැඩිය 
අඩියේ පදම පිට දොඩමලු බව        වැඩිය 
තඹ හැලියක් වගෙයි නෙරවූ බඩ   ගෙඩිය 

ජහ් පිටමක් කියා පොඩි අවදියෙ         දීම 
පුරුදුව රිය වැලක් පසු පස්සේ           යාම 
රුපියල් අටක එක වේලක කඩ        කෑම 
කැ හැටි කියූවා මට මතකය              තාම 

ගමේ පන්සලේ සඟ සත් නමක්          හට 
දන් කද රැගෙන දහවල් පිය නඟන      විට 
බඩගිනි දැනී රිංගා බඩ              වැටියකට
මුළු දන්කද ම කෑවා මොහු එතැන      සිට 

හාල් සේරු හය ලිප උඩ ඉදෙන         තුරා 
ගව ගාතයක් උයමින් ඇතිලියක        පුරා  
ටික ටික එයින් කා - බී හැලි දෙකක  සුරා 
මොහු නවතුණේ බත ළඟ කළුකුමකු මරා 

රා කළ හත අටක් කට තබමින්  බොනවා 
කයියක් පිංකමක් නෑරම          ඇවිදිනවා 
දන්සැලකට ගියොත් එහි සේර ම  කනවා 
ජේමා මිය ගියත් මට ඔහු සිහි      වෙනවා 

 (නිර්මාණය වූ වසර 1948) 

මා උපන් කාලයේ ඔහු ජීවත් වූ බව මට පැහැදිලි වුවත් මට හැබැහින් දැක ගැනීමට අවස්ථා ලැබුණේ නැත. මට දැක ගැනීමට නොලැබුණු යෝධයකු අපේ පළාතේ සිටි බව පැවසීම නිසා යෝධයන් ගැන උනන්දුවක් මා තුළ ඒ කුඩා කාලයේ සිට ම ඇති වී තිබුණි. 

සව්දම් ජෙමා ගී තැටියක් හා චිත්‍රපටයක් 

සව්දම් ජෙමා ගැන සොයා ගිය මට නොයෙක් තොරතුරු හමු විය. 1918 දී නිකුත් කරන ලද ‘ජෙමා ගේ සව්දම්’ නමින් වූ එච් එම් වී ග්‍රැමෆෝන් තැටියක් හමු විය. ඒ තැටියට දැන් අන්තර් ජාලයෙන් සවන් දිය හැකිය. 1979 දී ඔහුගේ නමින් සිනමාපටයක් ද නිපදවා ප්‍රදර්ශනය කරනු ලැබීය. දෙකටන යෝධයා නමින් වසර 45කට පෙර නිෂ්පාදනය ආරම්භ කළ එය 1979 ඔක්තෝබර 9 වැනිදා තිර ගත වූයේ ‘සව්දං ජේමා’ යනුවෙනි. එහි සව්දමං ජේමා ලෙස රඟපෑ ලයනල් දැරණියගල සමග ගීතා කුමාරසිංහ, පියදාස ගුණසේකර, මොරිස් දහනායක, සෝනියා දිසා, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ආදීහු රංගනයෙන් දායක වූහ. 

වසර 106කට පෙර නිකුත් වූ එච් එම් වී ග්‍රැමෆෝන් තැටියත් සමඟ ජනප්‍රිය චරිතයක් බවට පත් වූ සව්දම් ජෙමා ලංකාවේ විවිධ පළාත්වල ජීවත් වූයේ යැයි කියන කතාන්තර පැතිර ගිය අතර ඔහු තම ගම්පෙදෙස්වලට ඈඳා ගන්නට බොහෝ දෙනා උත්සාහ කළහ. ඔහු ඇත්තටම සියණෑ කෝරළයේ දෙකටන වැසියෙකි. ඒ අනුව ඔහුගේ වතගොත සොයා ගිය අපේ මිත්‍ර තිලක් සේනාසිංහයන් ඒ ගැන තොරතුරු රැසක් අනාවරණය කළහ. දෙකටන පද්මාවතී මහා විද්‍යාලයේ ගුරුවරයකු වූ උපනන්ද සමරසිංහයන් ‘දෙකටන යෝධයා හෙවත් සව්දම් ජෙමා’ යනුවෙන් පොතක් ද ලියා ඇති බව හෙළිදරවු වූ නමුත් ඔහුට ඒ පොත සොයා ගැනීමට හැකිවී නැත. ඔහු සව්දම් ජෙමා දන්කද ගෙන ගියේයැයි කියන දෙකටන, නාමළුව, කටුලන්දේ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයත්, ඒ ගෙන යන අතරමඟ නතරව දන්කඳ කෑ කජු කැළේත් බලන්නට ගොස් ඇත. 

සව්දම් ගැන පැහැදිලි කරන තිලක්, ‘සව්දම්‘යනු භාරතයේ ‘ශබ්දම්’ නමින් වූ නැටුම්වල එන ගායනා සමාන නෘත්‍ය ගී විශේෂයක් යැයි හුවා දක්වයි. ඔහුට ඒ සඳහා තොරතුරු ලබා දි ඇත්තේ අපේ සිටි සංගීත පර්යේෂකයකු වූ ඩබ්ලිව්. බී. මකුලොළුව සූරීන් විසිනි. සව්දම් යනු ඇතැම් විටෙක විනෝදාංශයක් ලෙසත්, තවත් විටෙක ශාන්තිකර්ම උදෙසාත් භාවිත කළ, ආධ්‍යාත්මික හා විනෝදාත්මක ලක්ෂණවලින් පිරිපුන් නැටුම්, ගැයුම් හා වැයුම් සහිත ජනකලා අංගයක් ලෙස තවත් සංගීත පර්යේෂකයකු වූ සී. ද එස් කුලතිලක සූරීන් සඳහන් කර ඇත. තිලක් ලිපියෙන් මතු කරන තවත් වැදගත් කරුණක් තිබේ. සව්දම් ජෙමා අධික ලෙස ආහාර අනුභව කළ හැකි කෑදරයකුට වඩා මීට දශක ගණනාවකට පෙර විසූ අප ජන සමාජය පිනවූ සුවිශේෂී ජනකලා ශිල්පියකු ලෙස හඳුන්වා දීමට නොහැකිදැයි ඔහු අපෙන් ප්‍රශ්න කරයි. 

සව්දං ජේමා නම් චිත්‍රපටයේ රඟපෑ 
ලයනල් දැරණියගල හා ගීතා කුමාරසිංහ

සව්දම් ජෙමා සදාකාලිකව ජීවමාන කළ කවියා 

මේ අපූරු පුද්ගලයා ජීවමාන කළ කවියා ගැනත් යමක් කිවයුතු ය. ඔහු තිහාරියේ පීටර් පෙරේරා ලෙස ප්‍රකටව සිටියෙකි. 1902 වසරේ ඉපිද 1968 මියගිය සියණෑ කෝරළේ විසූ ප්‍රතිභාපූර්ණ කවියෙකි. කොළඹ යුගයේ අතිශය ජනප්‍රිය කවියකු වූ එතුමාගේ නිර්මාණ ‘සිළුමිණ’ ඇතුළු පුවත්පත් හා කවි සඟරාවල එකල නිතර පළ විය. ගුරුවරයකු වූ එතුමා ගුරු සංගමයේ සංවත්සර රැස්වීමකට පැමි‍ණි වේලේ මට මුලින් හමුවූයේ මහනුවර දෙයියන්නේවෙල ගුරු නිවාසයේ දීය. එවකට දෙයියන්නේවෙල විදුහලේ විදුහල්පතිවරයා වූ මගේ පියාගේ ඇරයුමින් පීටර් පෙරේරා කවියා ඇතුළු ගුරු නායකයන් කීපදෙනෙක් දිවා භෝජනය සඳහා අප නිවසට ආහ. එවකට කුඩා දරුවකු වූ මා ඔහුගේ මේ කව්පෙළෙහි මුල් කවිය කටපාඩමෙන් කී විට ඔහු මහ හඬින් සිනාසී මගේ ඔළුව අතගෑ අයුරු මට අද වගේ මතකය. මම එදා ඔහුට මගේ සමරු පොත දුන්නේ සමු ගැනීමට යද්දීය. මඳක් නතර වූ එතුමා එහි පැහැදිලි අකුරින් කව් දෙපේළියක් ලියා අත්සන යොදා මා අතට දුන්නේය. එහි මෙසේ සඳහන් වී තිබුණි: 

‘මගෙ මළකඳට පළමුව අත ගැසිය යුතූ 
සියනෑ වීරයා වේවා පර්සි               පුතූ’ 

මින් වසර 56කට පෙර ඔහු මියයන විට මා සේවය කළේ ‘සිළුමිණ’ පුවත්පතෙහි සංස්කාරක මණ්ඩලයේ ය. එවකට ඔහු ‘සය දරු සුවඳ කැට’ කියා නම් කළ දරුවන් අතරින් බාල පුතකු වූ රාජා පෙරේරා අප සමඟ කර්තෘ මණ්ඩලයේ ඡායාරූප ශිල්පියකු ලෙස සේවය කළේය. 

 - පර්සි ජයමාන්න

 

Post a Comment

0 Comments